සයුරෙන් එහා පුවත්

සටන් විරාමය ප්‍රකාශයට පැය කිහිපයකින්ම මැදපෙරදිග නැවතත් ගිනිගන්නා ලෝකයක්

මැදපෙරදිග කලාපයට තාවකාලික සහනයක් ගෙන දුන් ඓතිහාසික සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යාමටත් මත්තෙන්, දැවැන්ත ගුවන් ප්‍රහාර සහ යටිතල පහසුකම් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාර හමුවේ එම එකඟතාවයේ පැවැත්ම දැඩි අවදානමකට ලක්ව තිබේ.

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ජෙනරාල් අසීම් මුණීර්ගේ මැදිහත්වීම මත ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් 2026 අප්‍රේල් 8 වන දින ප්‍රකාශයට පත් කෙරිණි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානයට එරෙහි ප්‍රහාර නැවැත්වීම මෙහි ප්‍රධාන කොන්දේසි විය. කෙසේ වෙතත්, මෙම සටන් විරාමයට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඇතුළත් නොවන බව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇත. වාර්තා වලට අනුව මරණ සංඛ්‍යාවන්හි යම් යම් වෙනස්කම් දක්නට ලැබේ (පුද්ගලයින් 182 ත් 254 ත් අතර ප්‍රමාණයක් මියගොස් ඇති බවට විවිධ වාර්තා පෙන්වා දෙයි).

ලෙබනනයේ බීරූට් නුවර සහ බේකා නිම්නය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවලට මිනිත්තු 10ක් ඇතුළත ස්ථාන 100කට වැඩි ගණනකට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කලබලයට පත් ජනතාව කළු දුමාරයෙන් වැසුණු බීරූට් නුවර වීදි ඔස්සේ හිස් ලූ අත දිව යන අයුරු දක්නට ලැබුණි. මීට අමතරව දකුණු ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා තිබේ.

මෙම තත්ත්වය ගෝලීය බලශක්ති අර්බුදයක් දක්වා ව්‍යාප්ත වීමේ පෙරනිමිති පහළ කර ඇත. සටන් විරාමය ප්‍රකාශයට පත් වීමෙන් පසුවද ඉරානයේ ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයක් වන ලාවාන් දූපතේ තෙල් පිරිපහදුවකට “සතුරු ප්‍රහාරයක්” එල්ල වී ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කුවේටයේ විදුලි සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන 28කින් ප්‍රහාර එල්ල කිරීම නිසා එරට දහස් ගණනකට බලපාන පරිදි ජල සහ විදුලි හිඟයක් නිර්මාණය වෙමින් පවතී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ද ඉරාන ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

සටන් විරාමයේ කොන්දේසි තුනක් මේ වන විටත් අමු අමුවේ උල්ලංඝනය වී ඇති බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් චෝදනා කරයි. ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහාම නොනැවැත්වුවහොත් “පසුතැවීමට සිදුවන ප්‍රතිචාරයක්” ලබා දෙන බවට ඉරාන විප්ලවීය මුරගොටුව (IRGC) අනතුරු අඟවා තිබේ. එහෙත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගොඩබිම් මෙහෙයුම ආරම්භ කළ දා සිට හිස්බුල්ලා සංවිධානයට දුන් විශාලතම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බවයි.

 

ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන සෙනසුරාදා පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවේ. එහෙත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය තවමත් විසඳී නොමැති වීමත් (ඇමෙරිකාව එය සම්පූර්ණයෙන්ම විවෘත කරන ලෙස ඉල්ලා සිටින අතර, ඉරානය පවසන්නේ අවසර රහිත යාත්‍රා විනාශ කරන බවයි) කලාපයේ පවතින ගැටුම් හේතුවෙනුත් මෙම තීරණාත්මක සති දෙකක කාලය තුළ සටන් විරාමය ඕනෑම මොහොතක බිඳ වැටිය හැකි බවයි.

සාමයේ බලාපොරොත්තු දල්වාගත් ලියවිලි මත තීන්ත වියළීමටත් පෙර ගලා ගිය රුධිරය, මැදපෙරදිග අර්බුදයේ සැබෑ අවසානය තවමත් බොහෝ දුර බව ලෝකයටම පසක් කර දෙයි.

us-israel-iran-two-week-ceasefire-disrupted-massive-attacks-on-lebanon-and-gulf-region-tense

 

us-israel-iran-two-week-ceasefire-disrupted-massive-attacks-on-lebanon-and-gulf-region-tense

 

us-israel-iran-two-week-ceasefire-disrupted-massive-attacks-on-lebanon-and-gulf-region-tense

 

us-israel-iran-two-week-ceasefire-disrupted-massive-attacks-on-lebanon-and-gulf-region-tense

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button