දේශීය පුවත්
QR සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රම නිසා පෝලිම් අවම වෙයි – හෙට (21) අනිද්දා (22)ඉන්ධන බෙදාහරින් නැහැ..

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන සැපයීම ප්‍රමාද වීමත් සමග පවතින සංචිත කළමනාකරණය කිරීමේ අරමුණින් රජය විසින් යළි හඳුන්වා දුන් කිව්.ආර් (QR) සහ ඔත්තේ – ඉරට්ටේ ක්‍රමවේදය හේතුවෙන් මේ වන විට රට පුරා දිගු ඉන්ධන පෝලිම් විශාල වශයෙන් අඩු වී ඇත. ඊයේ (19 වැනිදා) සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිම් සම්පූර්ණයෙන්ම දක්නට නොලැබුණු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර තිබුණි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඊයේ දිනයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බවත්, ඉදිරියේදී පැමිණීමට නියමිත බවට තහවුරු කර ඇති ඉන්ධන තොග සමග එළඹෙන මැයි මාසය අවසන් වන තෙක් ඉන්ධන සැපයුම ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවත්ය. වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම සහ මාසික දින දර්ශනයට අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දින ගළපා ඉන්ධන නිකුත් කිරීම සිදුවන අතර, වාහනවල අයිතිය තමන් නමට පවරාගෙන නොමැති පුද්ගලයින්ට කිව්.ආර් පහසුකම සකසා දීමේ කටයුතුද මේ වන විට බොහෝදුරට අවසන් කර ඇති බව කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මෙම නව රීතිවලට අනුව, අද දිනය ඉරට්ටේ දිනයක් බැවින් ඉන්ධන ලබාගත හැක්කේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඉරට්ටේ අංකයක් වන වාහන සඳහා පමණි. මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කිව්.ආර් පද්ධතිය ආශ්‍රිතව මතු වී තිබූ ගැටලු මේ වන විට මුළුමනින්ම විසඳා ඇති බවයි. එනමුත්, මෙම කිව්.ආර් ක්‍රමවේදය ආරම්භ කර සතියකට ආසන්න කාලයක් ගතවී තිබුණද, ඇතැම් වාහන හිමියන්ට තවමත් එක් වරක් හෝ ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.



