
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ දිලාන් සංජන කරුණාරත්න ශිෂ්‍යයා සමත් වී තිබේ. තමන් මෙම ප්‍රතිඵලය කිසිසේත්ම අපේක්ෂා නොකළ බවත්, දිවයිනේ පළමුවැනියා වීම සම්බන්ධයෙන් තමන්ට විශාල සතුටක් දැනෙන බවත් ඔහු ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති දිලාන්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ලබා ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබා ඇත. අනතුරුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ‘ඒ’ සාමාර්ථ නවයක් හිමිකර ගැනීමට ද ඔහු සමත් විය. ඔහුගේ පියා වන ලසන්ත කරුණාරත්න මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර, මව වන දිල්කා සරණසිංහ මහත්මිය විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්නීය. ඇය මේ වන විට පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරනු ලබයි.
අනාගතයේදී විභාගයට මුහුණ දීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔහු ලබා දෙන ප්‍රධානතම උපදේශය වන්නේ, දිනපතා පාසල් ගොස් එහි අධ්‍යාපන කටයුතුවලට සහභාගී වන ලෙසත්, ලබා දෙන වැඩ කටයුතු නිසි පිළිවෙළකට එදිනෙදා අවසන් කිරීමෙන් අනිවාර්යයෙන්ම තම අපේක්ෂිත ජයග්‍රහණ කරා ළඟා විය හැකි බවත්ය. මෙම දැවැන්ත ජයග්‍රහණය පිටුපස නිබඳවම සිටි තම මවුපියන් මෙන්ම, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අනුල විජේවර්ධන, පන්ති භාර ගුරුතුමා වන අමල් ගුණරත්න ඇතුළු වළනි කලවාන, දුලානි, විකුම් සෙනෙවිරත්න, රංග හෙට්ටිගේ සහ අචලා ධර්මවික්‍රම යන සියලුම ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට ඔහු සිය හෘදයාංගම කෘතවේදීත්වය පළ කළේය.





