
පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටියදී මීට වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක්, හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළදමා තිබියදී ඊයේ (6) උදෑසන ගොඩගනු ලැබීය. හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ගොඩගැනීම සිදු කෙරුණු අතර, එහිදී ගෝනි දෙකක අසුරන ලද සිරුරේ කොටස් පොලිසිය විසින් සොයාගන්නා ලදී.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, හිරණ, කිරිබේරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි සදුන් උදාර අල්විස් නොහොත් ‘හාවා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වූ මොහු, පසුගිය 2024 වර්ෂයේ අගෝස්තු මස 03 වැනිදා ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගිය පසු මෙලෙස අතුරුදන්ව ඇත. අතුරුදන් වූ ඔහුගේ කොළ පැහැති ත්‍රිරෝද රථයේ වර්ණය කළු පැහැයට වෙනස් කර, අංක තහඩු ද මාරු කර පාදුක්ක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය මගින් මීට පෙර සොයාගෙන තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන චතුරි ලක්ෂාණී විසින් හිරණ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කර තිබ්බටුගොඩ සුසාන භූමියේ වළදැමීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 02 වැනිදා සැකකරුවන් තිදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගත් අතර, ඝාතනයෙන් වසර දෙකකට පමණ පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ සහාය ඇතිව මෙම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදු කෙරිණි.




