තමන් ආස කරන දේ දැනෙන කෙනෙක් හමුවෙනව කියන්නෙම වාසනාවක්..!

අසංක සායක්කාරගේ සින්ටෝ ටෙලි නිර්මාණය මේ දිනවල සීඝ්‍රයෙන් සමාජගත වන ටෙලි නිර්මාණයක් බවට පත්ව ඇත. එහි කතා තේමාව වෙනස් මාවතක් ඔස්සේ ගලා යෑම හේතුවෙන් මෙය..

අසංක සායක්කාරගේ සින්ටෝ ටෙලි නිර්මාණය මේ දිනවල සීඝ්‍රයෙන් සමාජගත වන ටෙලි නිර්මාණයක් බවට පත්ව ඇත. එහි කතා තේමාව වෙනස් මාවතක් ඔස්සේ ගලා යෑම හේතුවෙන් මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. එහි චරිත සියල්ලම පාහේ සමාජයේ නිතර හමුවන චරිත වීමත් මේ සඳහා ප්‍රතිචාර ලබන්නට හේතු වී ඇතැයි සිතේ. එහි සිතාරාගේ චරිතයට පණ පොවමින් මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනා සිටින ඇය සික්ස්පැක් ටෙලි නිර්මාණයේ මල්ෂා ලෙසින් මෙන්ම විසේකාරී ටෙලි නිර්මාණයේ උවනි ලෙසින් ද ඔබ හමුවට එන්නීය. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී තිළිණි ජයමාලිය.

තිළිණි මේ දවස්වල ගොඩක්ම ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වෙලා තියෙන්නේ ටිකක් කළු චරිතයකින්?

සික්ස්පැක් ටෙලි නිර්මාණයේ මල්ෂා විදිහට පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් වින්දා. අදටත් මල්ෂා කියල කතා කරන පිරිස වැඩියි. ඒත් මේ දවස්වල අසංක සායක්කාරගේම සින්ටෝ ටෙලි නිර්මාණයේ සිතාරා නිසා ආදරයට එහා ගිය ප්‍රතිචාරයක් ලැබෙනවා. සින්ටෝ කියන්නේ ගැබිනි මවුවරුන් හය දෙනෙකුට ඒ අවධියේ දැනෙන හැඟීම්, ඔවුන් ලබන අත්දැකීම් පිළිබඳ කියැවෙන කතාවක්. එහි සිතාරා කියන්නේ තමන්ගේ සැමියා පිට රටක සේවය කරද්දී අනියම් පෙමක් නිසා ගැබ් ගනිපු කාන්තාවක්. සිතාරා කියන චරිතය මෙතැනදි සමාජය දකින්නේ කළු චරිතයක් විදිහට.

මෙතෙක් කල් අහිංසක චරිතවලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔබට සිතාරා නිසා ලැබෙන ප්‍රතිචාර වෙනස් විදිහට දැනෙනවා ඇති?

මෙතෙක් කල් මට ලැබුණෙම අහිංසක චරිත. ඒ නිසා ලැබුණෙම ප්‍රේක්ෂකයන්ගේ ආදරය. සික්ස්පැක් ටෙලි නිර්මාණයේ මල්ෂා කියන්නේ අම්මා කෙනෙක් වගේ යහළුවන් ඔක්කොමත් බලාගෙන හිටිය තරුණියක්. අදටත් ප්‍රේක්ෂක ආදරය ලැබෙන චරිතයක්. ඒ වගේම ඉන්ටර්නැෂනල් – 2 හුංගි කියන චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අදටත් හුංගිව මතක් කරන පිරිසක් ඉන්නවා. ඒත් සිතාරා කියන චරිතයට තාම ලැබෙන්නෙම බැණුම්. සජීවිව හමුවෙද්දි ඔයා හොඳට රඟපානවා කියන ප්‍රතිචාරය ලැබුණත් යූටියුබ් එකේ බණින පිරිස වැඩියි. මට ඒ වගේ ප්‍රතිචාර තාම නුහුරුයි. ඒත් මං කැමැතියි මට එහෙම බණින එකට. මොකද ප්‍රේක්ෂකයන් මේක තමන්ගේ පෞද්ගලික දෙයක් විදිහට අරගෙන තමන්ගේ කෙනෙකුට වගේ බණිනවා. එතැනදි මං ඒ චරිතයට සාධාරණයක් කරලා කියල මට දැනෙනවා.

ලැබෙන ප්‍රතිචාර අතරේ ඔබට ගොඩක්ම දැනෙන තැන් ඇති?

ඔව්. ලැබෙන කමෙන්ට්ස් අතරේ අර වගේ රත්තරන් මනුස්සයෙක් ඉද්දි අර වැඩකට නැති මිනිහෙක් අල්ලගෙන ප්‍රෙග්නන්ට් වෙලා. ඔය ගෑනිට ඔහොමම තමයි වෙන්න ඕන. ඔය වගේ දේවල් දාල තියෙනවා. මේ වගේ ඒවා මට අලුත්. ඔවුන් ඒ චරිතය තමන්ගේ කරගෙන. මේ ටෙලි නිර්මාණය මේ තරම් ප්‍රබලව සමාජගත වෙලා කියල දැනෙද්දි ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මේකෙ හැම චරිතයකටම වගේ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් කල් බලාගෙන හිටියත් ළමයි නැති චරිතයක් තියෙනවා. ඒ චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මාත් ඔහොම ගොඩක් කල් බලාගෙන හිටියා කියලා ආශීර්වාද කරන අයත් ඉන්නවා. ඒ වගේම අඩු වයසින් ගැබිනියක් වුණු චරිතයටත් ප්‍රතිචාර ලැබෙනවා. මමත් ප්‍රෙග්නන්ට් වුණේ අවුරුදු 18දි ඒ වගේ කියලා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වන චරිත කියලා දැනෙනවා.

මේ දිනවල විකාශය වන විසේකාරී ටෙලි නිර්මාණයේ උවනිත් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙලා නේද?

උවනි කියන්නේ කැම්පස් යන ළමයෙක්. තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක හරිම සාමකාමීව ගත කරන අහිංසක ගැමි තරුණියක්. උවනිට ගොඩක් හොඳ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සික්ස්පැක් මල්ෂා හරහා ලැබුණු අසීමිත ආදරේ ආයෙමත් ලබාගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

තිළිණි ක්ෂේත්‍රයට පිවිසීම ගැන මතක් කළොත්?

මං වේදිකාව හරහා පළමු රංගන අත්දැකීම ලබද්දි මට අවුරුදු දහයයි. ඒ රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා කළ වේදිකා නිර්මාණයකින්. මේ ආපු ගමනට කුරුවිට රඟමඬල තමයි තෝතැන්නක් වුණේ. මුලින්ම රංගනය හැදෑරුවේ චූල දසනායක ගුරුතුමාගෙන්. ඒකත් හරි අහඹු සිදුවීමක්. මගේ පොඩි අක්කා තමයි සර් ළඟට ගියේ. මං හැමදාම එයාගේ තනියට ගිහින් ඒ හැසිරුණු විදිහ, දක්වපු උනන්දුව දැකලා තමයි සර් මාව සම්බන්ධ කරගත්තේ. ඊට පස්සේ වේදිකාවේදී හඳුනාගත්ත රත්නපුරේ නිලංක නාමල් උඩුමුල්ල අයියාගෙන් තවදුරටත් රංගනය හදාරමින් වේදිකාවේ ස්ථාවර වුණා. ඔහුගේ නාට්‍ය හරහා කොළඹ පිරිස හඳුනගන්නත් අවස්ථාව ලැබුණා. පොඩි චරිත හරහා ටෙලි නිර්මාණ රැසකට දායකවෙලා තිබුණත් මුලින්ම පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තේ ස්වාධින රූපවාහිනයේ විකාශය වුණු ලොකු ඉස්කෝලේ මහත්තයා පොහොය දින ඒකාංගික නාට්‍යයෙන්. තනූජා විජේවික්‍රම අක්කා මගේ වේදිකා නාට්‍ය දැකලා මාවම ඔළුවේ තියාගෙන ලියපු තිර පිටපතක් ඒක. රයිගම් සම්මාන උලෙළේ හොඳම ඒකාංගික නාට්‍ය බවට පත්වෙලා මටත් කුසලතා සම්මානයක් ලැබුණා. ප්‍රධාන චරිතයකින් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණේ සික්ස්පැක් ටෙලි නිර්මාණයෙන්.

රත්නපුරේ ඉඳන් කොළඹට එන තිළිණිට ආදරය මුණගැහෙන්නෙත් වේදිකාවෙන්?

දමින්ද නන්දරත්න මුල ඉඳන්ම වේදිකාවේ හොඳම මිතුරෙක්. මේ දිනවල විකාශය වන සින්ටෝ ටෙලි නිර්මාණයේ නන්දේගේ චරිතයට පණ පොවන්නෙත් ඔහු. ඔහු මගේ ගමනට ලොකු සහායක් දෙනවා. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා මේ ගමන යන්න ගොඩක් පහසුයි. තමන් ආස කරන දේ දැනෙන කෙනෙක් හමුවෙනව කියන්නෙම වාසනාවක්. මම කරන වැඩවලදි ඔහු මටත් වඩා මා ගැන උනන්දුයි. හොඳ තේරුම් ගැනීමක් එක්ක අපි දෙන්නා හරිම ආදරෙන් මේ ගමන යනවා.

නාමලී ගමගේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports