සිංහල සිනමාවේ සිහින කුමාරයා වෙනුවෙන් මිනුවන්ගොඩදී විශේෂ උපහාරයක්…!

සිංහල සිනමාවේ සිහින කුමරා ඔහුය. ඔහු අප අතරින් වියෝවී වසර 37ක් ගෙවී ගියද වසරින් වසර ඔහු ගැන මතකයන්ගෙන් ප්‍රේක්ෂක සිත් අලුත් වන්නේය. ඔහු ගැන මතකයන්..

සිංහල සිනමාවේ සිහින කුමරා ඔහුය. ඔහු අප අතරින් වියෝවී වසර 37ක් ගෙවී ගියද වසරින් වසර ඔහු ගැන මතකයන්ගෙන් ප්‍රේක්ෂක සිත් අලුත් වන්නේය. ඔහු ගැන මතකයන් යළි යළිත් සිහිපත් කරමින් රසික ප්‍රජාව සෝ සුසුම් හෙළන්නේ ඔහු තුළ පැවැති සැබෑ මානුෂ හිතවාදි ගතිගුණ නිසාය. විජය කුමාරතුංග නම් මානව හිතවාදී මිනිසා දැයට අහිමි වූයේ හතළිස් තුන්වැනි වියේදීය.

සරසවිය පුවත්පතේ පළවූ දැන්වීමකට අනුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් සිනමාවට පිවිසි ඔහු සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් සිනමාවේ දිගු ගමනකට මුල පිරීය.

‘එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, බැද්දේගම, පාර දිගේ, මහගෙදර, කැඩපතක ඡායා, ක්‍රිස්තු චරිතය, කරුමක්කාරයෝ, මරුවා සමඟ වාසේ, පෙම්බර මධූ, දේව්දුව,පොඩි මල්ලී, අහස් ගව්ව,නොම්මර 17, මමයි රජා….‘ ඇතුළු චිත්‍රපට 120කට පමණ රංගනයෙන් දායක වී ඇති ඔහු ඉන් 114කම ප්‍රධාන චරිතය නිරූපණ කිරීම සඳහා අවස්ථාව උදාකර ගත්තේය. ඔහු තරම් ජනප්‍රිය ධාරාවේ මෙන්ම කලාත්මක ධාරාවේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පියෙක් නොමැති තරම්ය. වැඩිම අවස්ථා ගණනක් සිනමාවේ ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ රංගන ශිල්පියා ද ඔහුය.

රංගනයට පමණක් සීමා නොවුණු ඔහුගේ හැකියාව චිත්‍රපට පසුබිම් ගායනය ඔස්සේ ද ගලා ගියේය. ඔහු ගැයූ ගීත 100කට අධිකය. ඒ අතරින් ගඟ අද්දර මා, සීතලේ නිසංසලේ, රූස්ස ගහ ළඟ පාළු මාවතේ, ඔරුකඳ පාවී, රැල්ලෙන් රැල්ලට, දඟගෙයි දඬුවම්, සැරයටියෙන් අපි යනෙන තුරා, පායා සීත රැයේ, කවුළුව අතරින් සඳරැස් එනවා වැනි ගීත අතිශයින්ම ජනප්‍රිය විය.

පසුගිය 16 වැනිදාට ඔහු දැයෙන් සමුගෙන වසර 37කි. දිවයින පුරා ඔහු නමින් විවිධ සැමරුම් උත්සව පැවැත්වෙද්දී කුඩා කල සිට ඔහුට අතිශයින් පෙම්බැඳි ඔහුගේ රසිකයෙක් මිනුවන්ගොඩ ගල්ඔළුව නගරයේ විජය කුමාරතුංග නමින් සිනමාශාලාවක් විවෘත කිරීම මෙවර සුවිශේෂී අවස්ථාවක් විය. වීරසිරි අධිකාරී නම් ඔහු අධිකාරී සමූහ ව්‍යාපාරයේ හා අධිකාරී එන්ටර්ටේන්ට්මන්ට්හි සභාපතිවරයාය. ලොව ඉහළම ශබ්ද තාක්ෂණයෙන් (7.1 sound) මෙන්ම සුඛෝපභෝගී ආසන, ලේසර් ප්‍රොජෙක්ටර්, සිල්වර් ස්ක්‍රීන් සහිත නවීන තාක්ෂණයෙන් නිමවුණු එහි බැලූ බැලූ අත විජය කුමාරතුංගයන්ගේ රුවින් හැඩවී තිබීම ද ආකර්ෂණීය දසුනක් විය.

ඔහුගේ රිදී තිරයේ පෙම්වතියන් වූ ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, නදීකා ගුණසේකර, සුවිනීතා වීරසිංහ මෙන්ම සහෝදර කලා ශිල්පීන් ලෙස ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, රංජන් රාමනායක, චුලක්ෂි රණතුංග, සුනිල් ටී ප්‍රනාන්දු, දිනේෂ් ප්‍රියසාද්, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය සහ අභිලාෂී සන්තුෂ්කී ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. කලාවට හිතැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව, ගුණපාල රත්නසේකර ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ.

විජය කුමාරතුංගයන් හා ගත කළ සිනමා දිවියේ රසමුසු තැන් සිහිපත් කරමින් සංවේදී වූ ජීවන් ඇතුළු කලා තරු විජය නමින් මෙවන් සිනමාශාලාවක් විවෘත කිරීම සම්බන්ධයෙන් වීරසිරි අධිකාරීට තම ස්තුතිය පළ කළහ.

විජය දේශපාලනයට නාවා නම් තවමත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණු බවත් ඔහු අවංක මෙන්ම රට වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළ දේශපාලනඥයෙක් බව පවසා සිටි රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ වැඩිදුරටත් කියා සිටියේ ඔහු මෙරට ජනාධිපති ධූරයට පත්වේයැයි තමන් බලාපොරොත්තු වූ බවයි. විජය තමාට අවසන් වරට හමුවූයේ මධු සිහින චිත්‍රපටයේ රූගත කිරීමකදී බව පවසා සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන එදින සැදෑවේ පැවැති සාදයේදී ඔහු ගායනා කළ ගඟ අද්දර ගීතය ඔහු හඬින් සජීවීව ඇසූ අවසන් ගීතය බව ද පවසා සිටියේ දුක් මුසු ස්වරයෙනි.

රටේ සිනමා ශාලා වැසී යන අවධියක සිනමාලෝලී රසික ප්‍රජාව වෙනුවෙන් විජය කුමාරතුංග නමින් මෙවන් සිනමාශාලාවක් විවෘත කිරීම සම්බන්ධයෙන් අධිකාරී මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතිය පළ කළේ විජය සමඟ අනුපමා සහ සිකුරුලියා සිනමාපටවලට රංගනයෙන් දායක වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහය. නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, දිනේෂ් ප්‍රියසාද්, රංජන් රාමනායක යන කලාකරුවෝ විජය නමින් සිය අදහස් පළ කරන්නට අමතක නොකළහ.

ජාතික චිත්‍රපට සංස්ථාව සතු රිද්මා සිනමා මණ්ඩලයට අයත් සිනමාශාලාවක් ලෙස මෙය ජනතා අයිතියට පත්වුණු බව පවසා සිටියේ චිත්‍රපට සංස්ථාව නියෝජනය කරමින් පැමිණි ලංකා ධර්මවික්‍රමය. රුපියල් 1.50 ටිකට් එකක් ගෙන විජය රඟපෑ චිත්‍රපට නැරඹූ බව පැවසූ ඔහු ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 54 පිරෙන මොහොතක මෙවන් සිනමාශාලාවක් ජනතාව වෙනුවෙන් දායාද කිරීම සම්බන්ධයෙන් තම සතුට පළ කළේය.

එදින පැමිණ සිටි කලා තරු සඳහා විජය කුමාරතුංගයන්ගේ චිත්‍රපට ඇතුළත් ට්‍රේලර් එකක් සහ මරුවා සමඟ වාසය සිනමාපටය නැරඹීමට සලස්වා තිබීම ද විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවේදි කලා තරු රැසක් පිරිවරා විජය කුමාරතුංග නාමයට උපහාර පුදන්නට අවස්ථාව සැලසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් නිශාන්තයන් විසිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports