අනේ අපට අපේ පාඩුවේ මේ සුන්දර රටේ ජීවත් වෙන්ට දීපියව් ! – කසුන් මහේන්ද්‍ර හීනටිගලට වෙච්චි දුක හිතෙන අකරතැබ්බය

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ  අධ්‍යක්ෂවරයෙක් , දේශකයෙක් වගේ ඉතා අපූරූ ලියන්නෙක්.   ඉතින් ඔහුට අතුරුගිරිය පොලීසිය සිදුකළ බව කියන පහර දීමක් පිළිබදව ඔහුගේ මුහුණු පොතට..

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ  අධ්‍යක්ෂවරයෙක් , දේශකයෙක් වගේ ඉතා අපූරූ ලියන්නෙක්.

 

ඉතින් ඔහුට අතුරුගිරිය පොලීසිය සිදුකළ බව කියන පහර දීමක් පිළිබදව ඔහුගේ මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

එම සටහන පහත දැක්වෙන අතර පිළිබවදව අප අතුරුගිරිය පොලිසියෙන් විමසීමක් කළා.

එහිදී පොලිසිය සදහන් කළේ ඔහුට පහර දුන් බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි

උපුටා ගැනීම 

අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි කියාගත් තිදෙනෙකු (මට ඔවුන්ගේ මුහුණු ඉතා හොඳින් මතකය) මගේ ගමන් මඟ හරස් කළේය. ඇයි කියා මා ඇසූ විට ගෙවල් කොහෙද කියා ඉන් අයෙකු ඇසීය. ‘අර අතන’ කියා මා නිවස පෙන්වීමි. ‘අයි ඩී ගන්න’ තවකෙකු කී ය. නිවස ඉදිරිපිට කඩයට ඒමට අයිඩී කුමකටද කියා මම ඇසීමි. ‘මූව දාගනින්’ කියා එවිට තවකෙකු කී ය. මොවුන් ළඟ දැඩි අරක්කු ගඳ ය. මොවුන් රාජකාරියේ නිරතව සිටියේ බීමතින් බව ඉන් දැනුණි. දෙදෙනෙකු බලහත්කාරයෙන් මාගේ අතින් අල්වාගෙන මා ඔවුන්ගේ ‘පොලිස් ත්‍රීවිලයට’ දමාගත් අතර ‘ගෙදෙට්ට යං අයි ඩී එක බලන්න කියා’ කීවේය. මා ඊට එකඟ වූ නමුත් ඔවුන් කෙළින්ම ගියේ මගේ ගෙදරට නොව අතුරුගිරිය පොලීසියට ය.

එන අතරමඟ ත්‍රීවීලයේදී දෙදෙනෙකු මා තරයේ අල්වාගෙන සිටියේ අමානුෂික ආකාරයෙනි. එවිට මා ඔවුන්ට කීයේ, ‘මගේ ශරීරයට අත තැබීමට තමුන්ට අයිතියක් නැති බවත්, මා නීතිවේදියෙකු බවත්’ ය. ‘එවිට තෝ කාගෙ කවුද අපි දන්නවා රට කාපු වේසිගෙ පුත්තු’ කියා මෙම ‘පොලිස් මහතුන්’ මට තග දැමුවේය. ඔවුන් මගේ අතින් අල්වාගෙන හුන් ‘පහරවල්’ වලින් පෙනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ‘වධ හිංසාවෙන් මිදීමට’ (Right to Torture) ඇති මගේ නීතිමය රැකවරණය දැඩි ලෙස උල්ලංඝණය වී ඇති බවයි.

අතුරුගිරිය පොලීසියට මා රැගෙන ආ පසු ඔවුන් මාගේ ඇඳුම් පැළඳුම් පිරික්සූ අතර එහි ටොෆී කොලයක් හෝ නොවුණි. මා මගේ දුරකතනය ගෙන මගේ බිරිඳ මාධවී අමතා , ‘බබා හරිවැඩේනෙ වුණේ කඩේට ආපු ටිකට අයිඩී එක නෑ කියල මාව පොලීසියට අරං ආවනෙ’ කීවෙමි. අනේ එවිටත් මේවනවිට ‘දින දහ අටක් පමණක් වයසැති මගේ කිරිදරු පුතාට’ කිරිදෙමින් සිට ඇති ඈ හැරෙන තැපෑලෙන් මගේ අක්කා ද සමඟ පොලීසියට ආවා ය. ඒ රටක් හඳුනන මගේ, මේ පොලිස් මහතුන් නොදන්නා ‘අනන්‍යතා හැඳුනුම්පත ද, මගේ පාස්පෝටය’ ද රැගෙන ය. එවිට එය පෙන්වා ‘දැන් හරි නේද සර් එහෙනම් යන්න ද’ අසද්දී පොලිස් ස්ථානාධිපති කවුළුවකින් හිස හොවා මගේ බිරිඳට හේතු රහිතව නොසෑහෙන්න බැනුම් එල්ල කළේය. බිරිඳත්, මාත්, අක්කාත් තුෂ්ණිම්භූතව මුහුණට මුහුණ බලාගත්තෙමු. මාධවී පොලීසියෙන් ඇසුවේ ‘ගේ ඉස්සරහ කඩේට ගිය පලියට මගේ හස්බන්ඩ්ව මෙහෙම පොලීසියට ගෙනාව හේතුව මොකක්ද’ කියා ය. ස්ථානාධිපති ඉතා නින්දිත ආකාරයෙන් බැනුම් එල්ල කළ පසු මා ඔවුන් දුන් පුටුවක හිඳ සිටියෙමි. එවිට ඒ ආසන්නයෙන් යනෙන පොලිස් මහතුන් මදෙස බලමින් කෝචොක් දමා ‘ජැක්සන් ඇන්තනි පොරක් ද ? කවුද ඒ’ වැනි උපහාස කතා කියමින් වරින්වර ඒ මේ අත යමින් සිටියේය. මා ඒ බිඳකට පිළිතුරු නොදුන් අතර මා කියා සිටියේ ‘මම ලේඛකයෙකු බවත්, නීතිවේදියෙකු බවත්, ගේ ඉස්සරහ කඩේට යද්දී අයිඩෙන්ටිය අමතකව යාම මගේ වරදක් බවත්, නමුත් ඊට දරුණු ගනයේ අපරාධකරුවෙකුට මෙන් මට සැලකීම, බිරිඳට බැනීම ඉතා අසාධාරණ බවත්’ ය. එවිට පොලිස් නිලධාරියෙකු මට තගදැම්මේ ‘බලය පාවිච්චි කරන්න පොලීසියට පුළුවන්’ කියා ය. නමුත් වසර හතරක් නීති පීඨයේ ඉගෙනුම ලබමින් පොල් නොගෑ නිසා ‘යෙදිය යුතු අවම බලය මෙම සේයාරුවේ සඳහන් දේ’ නොවන බව මම දනිමි. අතුරුගිරිය පොලීසිය විසින් අප මානසිකවත්, මා ශාරීරිකවත් නිරපරාදේ දණ්ඩනයට ලක් කෙරුණි. මෙය හෙට ඔබට, ඔබේ දරුවාට විය හැකිය.

කෙසේ හෝ අවසානයේ මම ඊට පැය දෙක හමාරකට පමණ පසු පොලිස් රැහැනින් මිදී නිවසට පැමිණියෙමි. මගේ බිරිඳ ළඟ නොසිටි සොවින් සහ මව්කිරි අවශ්‍යතාවයෙන් පැය තුනකට ආසන්න කාලයක් එකදිගට හඬ හඬා සිට ඇති මගේ පුතා ක්ලාන්තයෙන් මෙන් සිටින්නේය. මෙතරම් දවසක් හීනෙන් හිනැහුණු මගේ පුතා මේ දැන් සිහිනෙන් එක්දිගට ඉකි ගසන්නේ ය. බිරිඳ හැඬූ කඳුළින් එකදු වරදක් හෝ නොකළ මා දෙස වරදකාරීව බලා ඉන්නී ය.

මා ජීවිතය පුරා ජාතිවාදී,ආගම්වාදී නොවුණු හීනෙකින්වත් රාජපක්ෂලාට ඡන්දය නුදුන්, මෙවර ජනාධිපතිවරණයේදී මාලිමාවටත්, මහ මැතිවරණයේදී කැටිපෙටත් මනාපය දුන් ‘නිදහස් මිනිසෙක්’මි. නමුත් මේ සිදුවූ දේ ඉතාම ජඩ ය. කැත ය. පෞද්ගලික පළිගැනීමක් ය. මාධවීගේ අප්පච්චී මේ වනවිට ජීවතුන් අතර නොමැති බැව් දන්නෝ දනිති. මිය ගිය මිනිසුන්ට අපහාස කරන්නෝ අසංස්කෘතික අශිෂ්ටයෝ ය. ජැක්සන් ඇන්තනී නම් මහා මිනිසාගේ රංගනය නිසා හෝ මහා දැනුම නිසා හෝ දවසක් හෝ සැනසුණු මිනිසුනි, මොවුන් අප දඩයම් කිරීම අරඹා ඇත්තේ ය. මගේත්,මගේ බිරිඳගේත් දෑතේ ඇත්තේ අනේ ආදරයත්, අපේ කිරිකැටියාත් පමණි.

ලොව වටා සිටින මගේ මිත්‍රවරුනි, නීතිවේදී මහත්ම මහත්මීණි, නව රජයේ සහෝදර සහෝදරියනි, පොලිස්පතිතුමනි, මිත්‍රශීලී පොලිස් මහතුනි, අගමැතිතුමියනි, ජනාධිපතිතුමනි මට ‘පොලිස් වධ හිංසාවට සහ පුද්ගල අපහාසයට විරුද්ධව’ අදාළ නෛතික පියවර සාක්ෂි සහිතව ගත හැකිය. නමුත් මා මයෙ පාඩුවේ පොතක් ලියාගෙන, කලා නිර්මාණයක් කරගෙන නිති සැහැල්ලුවෙන් ජීවත්වීමට ආසා ඇත්තෙක්මි. ‘අයිඩෙන්ටිය නැතිව ගේ ඉදිරිපිට කඩයට යාම වරදක් බව සැබවි. නමුත් ඊට දඬුවම ජැක්සන් ඇන්තනී නාමකායෙන් ඉවර වෙන්නේ කෙසේදැයි’ දේශපාලනික බව දනිමි.

අනේ අපට අපේ පාඩුවේ මේ සුන්දර රටේ ජීවත් වෙන්ට දීපියව් !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports