සයුරෙන් එහා පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වා පහත වැටී ඇත.

එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිලද පහත වැටී ඇති අතර එය මේ වන විට වාර්තා වී ඇත්තේ ඩොලර් 95.42ක් ලෙසය.

කෙසේ නමුත් Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරදින ගනුදෙනු සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 94.48ක් ලෙස සටහන් වී තිබේ.

ඉල්ලුමට වඩා බොරතෙල් සැපයුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා

ගෝලීය වෙළෙඳපොළේ ඉල්ලුමට වඩා බොරතෙල් සැපයුම ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාව මෙම මිල පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මැදපෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන බොරතෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති මට්ටමට ආසන්න වීමත්, චීනයේ බොරතෙල් ඉල්ලුම පහළ යාමේ සලකුණු පෙන්නුම් කිරීමත් මෙම තත්ත්වයට බලපා තිබේ.

සිව්වැනි කාර්තුවේදී ගෝලීය බොරතෙල් සැපයුම දෛනිකව බැරල් මිලියන 105ක්

මේ අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දී ඇත්තේ මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී ගෝලීය බොරතෙල් සැපයුම දෛනිකව බැරල් මිලියන 105ක් පමණ වනු ඇති බවය.

එය අපේක්ෂිත ගෝලීය ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7ක අතිරික්තයක් බව ද එම ඒජන්සිය සඳහන් කර තිබේ.

එමෙන්ම ලොව දෙවැනි විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන චීනයේ පිරිපහදු කටයුතු ඔක්තෝබර් මාසයේදී පෙර මාසයට සාපේක්ෂව සියයට 2කින් සහ පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 8.1කින් පහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක අවදානම් සහ ඉහළ නෞකා ප්‍රවාහන ගාස්තු හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් පහළ යාම සීමා විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button