වෙදකම නිසා ගමේ නම ලෝකයට රැගෙන ගිය “හොරිවිල හේරත්හාමි”

හබරණ පුරවරය අද ප්‍රචලිතව පවතින්නේ සංචාරක පුරවරයක් ලෙසය. මින්නේරිය, කවුඩුල්ල, කුරුලු රක්‍ෂිතය යන සංචාරක ආකර්ශන ස්ථාන නිසා අද ලොව පුරා ප්‍රසිද්ධියට පත් හබරණ පුරවරය මීට දශක දෙක තුනකට පමණ පෙරාතුව ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එක්තරා වෙද ගෙදරක් නිසාය.

හොරිවිල වෙදගෙදර ලෙසින් ජනාදරයට පත් එම වෙද මැඳුරෙන් සේවය සැලසුණේ කැඩුම් බිඳුම් රෝගීන් සඳහා ය.

එහිදී රෝගියා සහ ඔහුව බලා කියාගැනීමට පැමිණෙන අත් උදව්කරුවාගේ ද ප්‍රත්‍ය පහසුව සැපයීම එම වෙද ගෙදරට අවේණික සුවිශේෂී ලක්‍ෂණයක් විය.

එදා එලෙස ප්‍රතිකාර ලබා හොරිවිල වෙද ගෙදරින් පිටව යන සෑම රෝගියකුම බුලත් හුරුල්ලක් මත තබා වෙද පඬුරක් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළ ද හොරිවිල වෙද මහතා වත්පොහොසත්කම් නොමැති අසරණ රෝගීන්හට බොහෝ විට වෙදකම් කළේ එම බුලත් හුරුල්ල පමණක් අතට ගෙන පඬුරු මුදල් සියල්ල ආපසු රෝගියා අතට ලබාදීමෙනි.

හොරිවිල පැරණි වෙද මහතා

එම නිසා මෙම ලිපියේ අරමුණ වන්නේ 1920 පෙබරවාරි 03 දා මෙලොව එළිය ලබා වසර 68ක් ආයු වලඳා 1988 ජනවාරි 15 වැනිදා අවසන් හුස්ම හෙළුෑ හොරිවිල වෙද පරම්පරාවේ දීප්තිමත්ම පුරුක වන සේනානායක මුදියාන්සේලාගේ කව්රාලලාගේ හේරත් හාමි නොහොත් හොරිවිල පැරණි වෙදමහත්තයාගේ හොරිවිල වෙද සමයෙන් බිඳක් ගෙන හැර පෑමටය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමනිලධාරී වසම් 16ක් ඇති අතර හොරිවිල ද ඉන් එක් ග්‍රාමසේවා වසමකි. අද යම් පමණකට නාගරීකරණය වී තිබුණ ද හොරිවිල ග්‍රාමය තවමත් ගොවිකමින් දිවිය සරි කරගන්නා බහුතරයකගෙන් හෙබි කෘෂිකාර්මික ගම් පියසකි.

වෙදකම මෙන්ම මානව ගුණධර්ම ද නොපිරිහෙලා පිහිටි එදා හේරත් හාමි වෙද මහතා, තමා වෙත පැමිණෙන රෝගියාගේ බිඳුණු අස්ථියට අදාළ කොටසේ තෙල් ආලේප කරන්නේ ගෝලයන් ලවා නොව ඔහුගේ ම දෑතින්ය.

එමෙන්ම රෝගීන්හට අවශ්‍ය වන එම තෙල් සිඳීම සඳහා හේරත් හාමි වෙද මහතාට රෝගීන් විසින්ම ඇතැම් බෙහෙත් පැළෑටි නිවසට ම රැගෙන විත් දෙනු ලබති. එය එකල පැවැති එක්තරා චාරිත්‍රයක්ව ද තිබී ඇත.

ඊට අමතරව වෙදකමට තෙල් සිඳීමට ගන්නා මී ගස්, පලුගස්, ගම්සූරිය ගස් ආදියේ පොතු ගලවාගෙන ඒමට ගෝලයන් සමග කැලෑවට යන හේරත් හාමි වෙද මහතා නිතර උපදෙස් දෙන්නේ සද්දන්ත ගස්වල වුවද පොතු ගලවා ගැනීමේදී ගසේ කවාකාර කඳෙන් එක් බාගයක පමණක් වරකට පොතු ගලවා ගන්නා ලෙසයි.

අනික් බාගයේ පොතු ඊළඟ වාරයේ දී කපා ගන්නා ලෙස උපදෙස් දෙන හේරත් හාමි වෙද මහතා එමගින් ගෝලයන් දැනුවත් කරන්නේ ගස නොමැරෙන ලෙස ආරක්‍ෂා වන පරිදි එහි කඳෙන් පොතු ලබා ගන්නා ආකාරය ගැනයි.

1943 ජුනි 12 වැනිදා සමරකෝන් මුදියාන්සේලාගේ කරුණාවතී සමග විවාහ වන හේරත්හාමි හට දාව උපත ලද පිරිමි දරුවන් අතරින් වර්තමානයේ හොරිවිල සිට එම පිය උරුම වෙදකම පවත්වාගෙන යන සේනානායක මුදියාන්සේලාගේ හේරත්හාමිගේ සෙනෙවිරත්න (ශාන්ත වෙදමහත්තයා) ය.

‘හෙළ වෙද ගෙදර’, හොරිවිල, පලුගස්වැව ලිපිනයේ පදිංචිව සිටිමින් තම පියාගෙන් පැවත ගෙන එන පාරම්පරික හොරිවිල වෙදකම එම ග්‍රාමයේ සිට ම සිදුකරන ශාන්ත සෙනෙවිරත්න මහතා තම පියාගෙන් රටට සිදුවූ සමාජ මෙහෙවර ගැන ද මතකය අවදි කරමින් සිය පියා පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.

“…පරම්පරා තිහක වෙද පරපුරක් කියන්නේ අවුරුදු තුන්හාර දාහක විතර අතීතයක්.

නමුත් එකම වෙද පවුලේ වුණත් හැමෝට ම ප්‍රතිකාර කරන්න බෑ.

ඒකට පරම්පරා ඥානය පිහිටන්න ඕනෑ. කොටින්ම කෙනකුට ගමේ හරි, තාත්තාගෙ හරි, නමයි, ගස්වල කොළ, පොතු තිබුණට වෙදකම් කරන්න බෑ… මගේ තාත්තා ඉස්කෝලෙ ගියේ එප්පාවල රේවතී මහා විද්‍යාලයට. තාත්තා අටේ පන්තිය දක්වා ඉගෙන ගෙන තියෙනවා.

අපේ වෙද පරම්පරාව රාවණා යුගය දක්වා පරම්පරා තිහක් විතර ඉතිහාසයට දිව යනවා. ඒ පරම්පරා තිහම හොරිවිල කේන්ද්‍ර කරගෙන හිටියා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ.

මාවඩුන්න නමැති සෙන්පතියා තමයි හොරිවිල ප්‍රදේශයේ බලය පතුරුවාගෙන හිටියා කියලා ඉතිහාසයේ තියෙන්නේ.

1957 අවුරුද්දේ මේ පළාතට ගැලූ මහ ගංවතුර වෙලාවේ අපේ මුළු ගම ම ඒකට යට වෙලා තියෙනවා. ඒ ගංවතුරට අපේ ගෙදර තිබිච්ච පැරණි වෙද පුස්කොළ පොත්, වෙද සන්නස් සේරම වගේ ගහගෙන ගිහින් තියෙනවා.

හොරිවිල වත්මන් වෙද මහතා

අපේ සීයලාගෙන් පැවතගෙන ආපු ඉපැරණි වෙද පුස්කොළ පොත් වගේම වැදගත් සන්නස් පත්‍ර ආදියත් ඒ ගංවතුරෙන් විනාස වෙලා ගිහින් තියෙනවා.

තාත්තා ඒ වෙලාවෙ අතට අහුවෙච්ච පුස්කොළ පොත්, වෙද පොත් පත් ටික හැකි ප්‍රමාණයක් බේරගෙන ආරක්‍ෂා කරගෙන තිබෙනවා.

ඉන් පස්සෙ තාත්තා ඒ පොත් පත්වල දැනුමත්, තාත්තාගේ වෙද ඥානයත් පාවිච්චි කරලා ඒවායින් තමයි දැනට පවතින වර්තමාන හොරිවිල වෙද ක්‍රමය හදාගෙන තියෙන්නේ.

තාත්තා මියයන වෙලාව වෙනකොට ලෝකයේ සිය දහස් ගණනකට තාත්තා ප්‍රතිකාර කරලා තිබුණා. ලංකාවේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු බොහොමයක්දෙනා ප්‍රතිකාර ගත්තත් නොගත්තත් තාත්තා සමග සමීප මිත්‍ර සම්බන්ධකම් පවත්වා තිබෙනවා. සේවය අගය කරලා තිබෙනවා.

එක වතාවක් ස්විට්සර්ලන්ත අග රුජිනිය ලංකාවට ආපු වෙලාවෙ සීගිරි ගල නඟින්න ගිහින් කකුල පෙරලිලා තාත්තාගෙන් තමා ප්‍රතිකාර ගත්තේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි හොරිවිලට දුම්රිය ස්ථානයක් හදන්නත් කටයුතු කළේ. ඒ වගේම ගමට විදුලිය ලබාදුන්නෙත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ දීයි.

ප්‍රේමදාස ආර්යාව පවුලේ අය සමග හබරණ හෝටලයක නතර වෙලා ඉන්න අවස්ථාවක ඇතිවූ පාදයේ ආබාධයකට ප්‍රතිකාර අරගන්න එම ආර්යාව අපේ හොරිවිල වෙද මැඳුරට ආවා.

එහිදී දැකපු ගමේ අඩුපාඩුවලට ක්‍ෂණික පිළියමක් හැටියට තමයි හොරිවිල ගමට විදුලිය සහ දුම්රිය ස්ථානයක් ලැබුණේ.

ඒ කාලයේ උතුරු මැද පළාතේ මහ ඇමැති හැටියට ඩී.ජී.මහින්දසෝම මහත්මයා තමයි ඒ සියල්ල අධීක්‍ෂණය කළේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තමයි මේ හෙළවෙද ගෙදර ට ගොඩනැඟිල්ල හදලා දුන්නේ. ඒ කාලේ දේශීය වෛද්‍ය ඇමැති හැටියට කටයුතු කළේ තිස්ස කරලියද්ද මහතා යි.

තාත්තා මිය පරලොව ගියාට පස්සේ මගේ වැඩිමල් සහෝදරයා කරුණානායක වෙද මහත්තයා වෙදකම පවත්වගෙන ගියා. ඒ සහෝදරයා වෙදකමෙන් ඉවත් වෙලා කැකිරාව ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලන්න තීරණය කෙරුවා.

කරුණානායක ලොකු අයියා ඡන්දෙන් දිනලා වෙදකමෙන් ඉවත් වුණාට පස්සෙ 1994 අවුරුද්දෙ ඉඳන් තාත්තාගෙ පුටුවෙ වාඩිවෙලා හොරිවිල ඉඳන් මම තාත්තාගෙ මේ වෙදකම පටන් ගත්තා.

විදේශිකයන් අතරත් අපේ හොරිවිල හෙළ වෙදකම ප්‍රකටයි. ඒ නිසා විදේශීය වෛද්‍ය ශිෂ්‍යයනුත් අපේ හෙළ වෙද ගෙදරට විවිධ සමීක්‍ෂණ කටයුතුවලට නිතර පැමිණෙනවා.

එම කටයුතුවලින් අපි බලාපොරොත්තු වන්නේ අපේ වෙද පරපුර ප්‍රවර්ධනය කරගැනීම ම නෙමෙයි. අපේ ශ්‍රී ලාංකික හෙළ වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යෑම වගේම ඒ හරහා ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමයි අපේ වෑයම.

හොරිවිල පසුකරන දුම්රිය

තාත්තා මියයන්නේ 1988 ජනවාරි 15 වැනිදා. එදා සිට මේ දක්වා හැම වසරෙම අපි පියාගේ ගුණ අනුස්මරණය කරනවා. පාසල් ළමුනට පොත් පත්බෙදා දීලා ගම්වාසී සියලුම අයට කෑම දීලා ඒ ගුණ අනුස්මරණය කරනවා. අපේ තාත්තාට ගෞරව නාම රැසක් ලැබිලා තියෙනවා.

නමුත් කනගාටුවෙන් කිවයුතු වන්නේ අපේ හෙළ වෙදකමට රජයෙන් විශේෂ සහයක් නෑ. අපිට තියෙන ගැටලුව තමයි නියම උරුමකමක් නැතිව හොරට හදාගත් සහතිකවලින් පාරම්පරික උරුමයක් පෙන්වලා ව්‍යාජ ලෙස වෙද පරම්පරා ලියාපදිංචිය ලබාගැනීමට හැකියාව තිබීම.

නියම පිය උරුමයෙන් හොරිවිල වෙදකම හිමිකම් ඇති අපි පස්දෙනාට අමතරව ආවාහ විවාහයක් සිදු කරගෙන හොරිවිල ගමෙන් පිටත පදිංචියට යන, අපේ ගෙදරට වැස්සටවත් ගොඩ නොවූ පිටස්තරම අය ඒ පළාත්වල හොරිවිල වෙදුන් ලෙස හොර වෙදකමේ යෙදෙනවා.

ඒ අතින් බලපුවාම අපේ තාත්තාට අපි නොදන්න මෙච්චර ළමයි හිටිය ද කියලා අපිට පුදුමත් හිතෙනවා.

එවැනි තත්වයන්ට වැට බඳින්නට නීතියේ ඇති ප්‍රතිපාදනවලත් අඩුපාඩුකම් තිබෙනවා. මින්නේරිය, කවුඩුල්ල, සහ කුරුලු රක්‍ෂිතය හරහා හබරණ සංචාරක පුරවරයක් ලෙස ප්‍රසිද්ධ වුණේ මීට වසර විසිපහක තිහක වගේ අතීතයේ සිටයි. ඊට පෙර හොරිවිල නාමයෙන් තමයි මුළු උතුරුමැද පළාතම ප්‍රසිද්ධ වුණේ. ඒ දවස්වල සමහරු හබරණ දන්නෙ නෑ. නමුත් හොරිවිල කිව්වාම දන්නවා.

අපේ අම්මා මරදන්කඩවල තෝරුවැව කියන ප්‍රදේශයේ. ඒ කාලෙ අම්මාගෙ පරම්පරාවත් වෙදකමට සම්බන්ධයි. ඒ වෙදකමට තිබිච්ච සම්බන්ධය තමයි අම්මගෙත් තාත්තාගෙත් විවාහයට පවා මුල්වෙලා තියෙන්නේ.

අපේ තාත්තා රා අරක්කු බිව්වෙ නෑ. දුම්පානය කළේ නෑ. මස්මාළුවලට ඒතරම් තැනක් දුන්නෙ නෑ. තාත්තා වෙද මහත්තයෙක් වගේම හොඳ ගොවියෙක්.

මේ වෙදකමට ඉස්සර වෙලාම කීවේ ගස් වෙදකම කියලා. ගස්වලින් කොළ, පොතු අරන් ගහ වාගේ හොඳින් නැවත ශක්තිමත් වෙනවාය කියන තේරුමින් වගේම ගස්වලින් වැටිලා අතපය කැඩුණාම කරන වෙදකම කියන තේරුමෙන් වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.

දැන් මේ වෙදකමට බෙහෙත් සොයාගන්න හරි අමාරුයි. ඉස්සර තාත්තගෙ කාලෙ නම් ප්‍රතිකාර ගන්න එන අයම තමුන් දන්න කියන බෙහෙතට ඕන වෙන වෙද පැළෑටියක් දෙකකුත් අරගෙනයි වෙද මහත්තයා ළඟට ආවේ.

නමුත් දැන් ඉන්න ලෙඩ්ඩු බහුතරයක් බෙහෙත් ගස් අඳුනන්නේ නෑ. ඒ වගේම බෙහෙත් ගස් හැම තැනම දැන් ඇත්තෙත් නෑ. සමහර බෙහෙත් ගස් සොයන්න අපි කිලෝමීටර් පනහ හැට යනවා. ගොඩක් දේවල් දැන් මහා පරිමාණ වෙළෙඳුන් ඉන්දියාවෙන් ගෙන්වනවා

ඒ නිසා සමස්තයක් විධියට ම හෙළ වෙදකම රැකෙන්න නම් බෙහෙත් පැළ සුලබ වෙන්න ඕනෑ. ඒකට රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යව තියෙනවා. උදාහරණයක් හැටියට කංසා කියන්නෙ බෙහෙත් වර්ගයක්. නමුත් ඒක දේශීය වෛද්‍යවරුන්ට ලබාගන්නවත් පහසු යාන්ත්‍රණයක් නෑ.

ඒ සඳහා වෙද මහත්වරුන්ට බලපත්‍රයක් වගේ දෙන්න ඕන. කංසා කියන්නේ ඔසුවක්. පිළිකා නාශක, කොලෙස්ටරෝල් නාශක, සීනි අඩුවීම ආදියට හොඳ ඔසුවක්.

පලුගස්වැව සේවය කළ සහ කරන ප්‍රාදේශීය ලේකම්වරුන් සියලු දෙනාම වගේ මට බෙහෙත් පැළ ආදිය සොයාදීමෙන් ලොකු සහයෝගයක් දක්වනවා.

අනිකුත් රජයේ සහ පුද්ගලික ආයතනවලිනුත් අපේ තාත්තාගේ නමින් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

වර්තමාන වෙදකම ගැන කතා කරනවා නම් කෙරෝනා වසංගතයෙන් පස්සේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ලෙඩ වැඩියි. දැන් දෙමව්පියන්ට වඩා ළමා ළපටින්ට ලෙඩ වැඩියි. කොඳු නාරටියේ ආබාධ, උකුල් ඇට දිරන අසනීප, දණහිස් අමාරු, උරහිස උස්සන්න බැරි අසනීප ඉතා බහුලයි.

ඒ වගේම වයස 15ත් 40ත් අතරේ තරුණ අයට පවා සීනි අසනීප වගේම අකලට කොණ්ඩය පැසීම, අධිරුධිර පීඩනය හෙමත් බහුලව තියෙනවා.

මේවාට ප්‍රතිකාර වගේම තමා විසින්ම සිදුකර ගන්නා ආහාර පාලනය, ව්‍යායාම වගේ දේවලුත් ඉතා වැදගත් වෙනවා.

ඉතින්, හොරිවිල නමින් හොර වෙද මහත්තුරු හරියට ඉන්නවා. අහුවෙන්න එපා කියන පණිවුඩයයි අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ.

සටහන, ඡායාරූප
රන්ජන් ගාමිණී ජයවර්ධන

  • Related Posts

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    දකුණු කොරියානු ටෙලිනාට්‍ය ලෝකයේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත් කතා මාලාවක් ලෙස “The Heirs” හැඳින්විය හැකිය. මේ කතාවේ මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ සම්පත් සහ බලය ඇති පවුල් වල දරුවන්ගේ ජීවිත, ඔවුන්ගේ…

    “සැබෑ සුන්දරත්වය සොයාගිය ගමනක් – True Beauty කතාවේ අරුත”

    True Beauty කියන්නේ ආදරය, ආත්ම විශ්වාසය, සහ සමාජයේ beauty standards පිළිබඳ ගැඹුරු පණිවිඩයක් දෙන South Korean drama එකක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන Lim Ju-kyung හරහා, “සැබෑ සුන්දරත්වය” කියන්නේ මොනවද…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 224 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 88 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 644 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 83 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 947 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1315 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…