සයුරෙන් එහා පුවත්

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට යළිත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ට්‍රම්ප් කියයි

ඉරානය සමඟ පවතින සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවහොත් නව වසරෙන් පසුව යළිත් ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමට තමන් සූදානම් වී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ටෙහෙරානය සමඟ වක්‍ර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නමුත් ඒවායේ ප්‍රගතියක් නොමැති වීම සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරාන සාකච්ඡාකරුවන් විවේචනය කරමින් ඔවුන් ‘වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන්’ ලෙස හඳුන්වා ඇති ට්‍රම්ප්, “ඔවුන් නිතරම කතා කරනවා. ඔවුන් කරන්නේ කතා කිරීම පමණයි. නමුත් ඒ සියල්ල විකාරයක්” යනුවෙන්ද පවසා තිබේ.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඉරාන වරායන් වෙත අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාව මධ්‍යයේ වුවද තෙල් ප්‍රවාහන නෞකාවලට එරෙහි ඉරාන ප්‍රහාර අඛණ්ඩව සිදුවන බව වාර්තා වේ.

කෙසේවෙතත් එම නාවික අවහිරතාව බිඳ දැමීමට ඉරානය උත්සාහ කළ හැකි බවට එරට රාජ්‍ය මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ එම අවහිරතාව පසුකර යාමට උත්සාහ කරන ඉරාන නෞකාවලට ප්‍රහාර එල්ල කර මුහුදුබත් කරන බවය.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button