මොන තරම් චිත්‍රපටවල රඟපෑවත් ‘දං චූටිට’ මං ගොඩාක් ආදරෙයි

සේන සමරසිංහයන් සිනමාවට නැගූ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ ‘දං චූටි’ අදටත් අපට අමතක නැත. සිනමා සක්විති ගාමිණි ‍‍ෆොන්සේකා ප්‍රධාන භූමිකාව නිරූපණය කළ එහි ඔහුගේ නැඟණිය වූයේ ඇයයි. අයියාගේ රැකවරණයෙන් ජීවිතයේ කිසිදු ගැඹුරක් නොගෙන සැහැල්ලු දඟකාර කෙළිලොල් යෞවනය සිනමා තිරය ඉදිරියේ යථාවත් අයුරින් නිරූපණය කළ නිසාම ඒ නංගී සහ අයියාගේ ආදර බැඳීම බොහෝ කලක් සමාජගත වී තිබිණි. ස්ටැන්ලි ගුණසේකර පියා වන ඇයගේ මව නම් තලතා ගුණසේකර යි. ඇය ද සිංහල සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පිණියකි. තලතාගේ ආදරණීය දියණිය ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පී නදීකා ගුණසේකර අද අපගේ කතා නායිකාව වූවා ය.

“ඇත්ත වශයෙන්ම මොනතරම් චිත්‍රපටවල රඟපෑවත් ‘දං චූටිට’ මං ගොඩාක් ආදරෙයි. මාව ගොඩාක් ජනප්‍රිය වෙන්නත් දං චූටි චරිතය හේතු වුණා. බොහෝ කාලයක් මට සමාජයේ පිරිස කතා කළේ ‘දං චූටි’ කියලා යි. අදටත් ඒ චිත්‍රපටයේ මම රඟපෑ ජවනිකා දකිද්දි ඒ මං ද කියලාත් හිතෙනවා. ඇත්තටම හරිම ආදරණීයයි. අම්මා සිනමාවේ සිටි නිසා මට සිනමා රංගනයේ බොහෝ අවස්ථා විවර වුණා. අම්මාගේ අභාසයත් මට තිබුණු නිසා රංගනය අපහසු වුණේ නැහැ. නමුත් ඉස්සර අද කාලේ වගේ නෙවෙයි චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න ටික කාලයකට කලින් අපේ අතට තිරපිටපත ලැබෙනවා. අපි ඒක හොඳට කියවලා අපට ලැබී ඇති චරිතය ගැන හැදෑරීමක් කරනවා. එහෙම නැතුව දර්ශන තලයට ගියාට පස්සේ කොළ කෑලිවල ලියූ දෙබස් කියවලා චරිත නිරූපණය කිරීමක් ඒ කාලේ කළේ නැහැ. සිනමාවට අපි වගේම පිටපත් රචකයින්, අධ්‍යක්ෂවරුන් පමණක් නෙවෙයි ඒ කාර්යයට දායකත්වය ලබා දෙන සෙසු අය පවා ගරු කළා. අපි හැමෝම එක කණ්ඩායමක් විදිහට වැඩ කළා. ඒ බැඳීම් අදටත් ඉතිරි වෙලා තියෙනවා. අදටත් විවේකයක් ලද සැනින් එකිනෙකා මුණගැහිලා දුක සැප බෙදා ගනිමින් සතුටු වෙනවා. ඉස්සර රූගත කිරීමකට ගියාම අපි කළේ ඒ වැඩේ විතරයි. ගෙවල්වල එන්න දැඟලුවේ නැහැ. ඒ කාලේ ජංගම දුරකතන තිබුණෙත් නැති නිසා කතා කරන්න තිබුණු අවස්ථාත් අඩුයි. අපි ඒ චරිතයේ ජීවත් වුණා. එක පවුලක් වගේ හැමෝම එකට දින, සති, මාස ගෙව්වා. ප්‍රවීණයින්ගේ ගරුත්වය ආරක්ෂා කළා. ඔවුන් අපට රංගන ජිවිතය ඉදිරියට ගෙන එන්න පුදුමාකාර සහායක් දුන්නා. ඒ හැම ජීවන සංකලනයක්ම සිනමා නිර්මාණය තුළ යථාවත්ව ගැබ් වුණා. එක නිර්මාණයක රූගත කිරීම් අතරේ තවත් නිර්මාණයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න අපි ගියේ නැහැ. ඒ කාලේ චිත්‍රපටවලට අදටත් විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් තියෙන්නේ ඒ නිසායි. රූපවාහිනි නාළිකාවක මං සිටි චිත්‍රපටයක් පෙන්නන වෙලාවක් වුණොත් අදටත් බොහෝ අය කතා කරනවා. ඒ කියන්නේ ඔවුන් එය නරඹනවා. වර්තමානයේ මේ තත්ත්වය වෙනස් වෙලා කියලා පේනවා. සමහරු වැඩ කිහිපයක් එකට භාර අරගෙන කරනවා. හැම එකේම චරිත එක වගේ වෙන්නේ ඒකනේ. නළු නිළියෝ ඔක්කොම එක වගේ. එකිනෙකාට අනන්‍යතාවක් පේන්න නැහැ. අපේ යුගයේ රංගන ශිල්පීන් නිර්මාණයේ චරිතය තුළින් තමන්ව ඉස්මතු කර ගන්න උත්සාහ කළේ නැහැ. හැම රංගන ශිල්පිනියකටම ශිල්පියෙක්ටම තමන්ගේ අනන්‍යතාවක් තිබුණා. නම කියූ සැනින් ඒ අනන්‍යතාවය එක්ක රූපය මනසට එනවා. අද මම දකින්නේ සැබෑ ජීවිතයේ ඉන්න කෙනාම නිර්මාණවලත් ඒ විදිහටම ඉන්නවා කියායි. ඇත්ත වශයෙන්ම චරිත නිරූපණයක් නැහැ. සමහර අය තුළ ශිල්පීන්ට ගරුත්වයකුත්, කලාවට ගරුත්වයකුත් නැහැ. අඩුම ගානේ තමන්ටවත් ගරුත්වයක් නැහැ. අනවශ්‍ය විදිහට තමන්ගේ පෞද්ගලිකත්වය තමන් විසින්ම මාධ්‍ය හරහා ප්‍රචාරය කරගෙන එමඟින් ජනප්‍රිය වෙන්න බලනවා. එහෙම වුණේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.”

ඇය අතීතයේ සොඳුරු මතකයන් මැදින් අවුත් වර්තමානයේ සිනමා ක්ෂේත්‍රයෙහි පවතින ඛේදනීයත්වය පිළිබඳ සුසුම් ළෑවාය. සිනමාව කර්මාන්තයක් ලෙස ප්‍රගතියක් නොලැබීම එහි බිඳ වැටීමට හේතු වී ඇති අයුරු ඇය පැහැදිලි කළා ය.

“ඉන්දියාවේ ආදායම් වාර්තා තබන්නේත් ජනප්‍රිය චිත්‍රපටම තමයි. එතකොට සිනමා සම්මාන උලෙළවලදී සම්මාන ලබන්නේත් ඒ චිත්‍රපටවල ඉන්න ශිල්පීන්මයි. කලාත්මක සිනමා සම්මානත් තියෙනවා. ඒ වගේ නිර්මාණවලට සම්මාන ලබා දීමකුත් ඉන්දියානු සිනමා සම්මාන උලෙළවලදි කෙරෙනවා. නමුත් අපේ රටේ හොඳම චිත්‍රපට කියලා සම්මාන ඇගයීම් කෙරෙන්නේ වැඩි පිරිසකට එකට නරඹන්න බැරි කලාත්මක නිර්මාණ පමණයි. මැද මාවතේ සහ වාණිජ ධාරාවේ චිත්‍රපටවලට ජනප්‍රිය සම්මාන තමයි වැඩිපුර ලැබෙන්නේ. හොඳම සම්මාන ලැබෙනවා අඩුයි. ඒ වගේම අමාරුවෙන් හොඳ නිර්මාණයක් කළත් ඒවා ප්‍රදර්ශනය කරන්න සිනමා ශාලා නැහැ. සමහර සිනමා ශාලාවලට චිත්‍රපටය ඇවිල්ලා ගිහිල්ලාත් ඉවරයි. නමුත් වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉස්සර මට මතකයි හැම ගමකටම නුදුරින් සිනමා ශාලාවක් තිබුණා. රාත්‍රි නවයයි තිහට දර්ශන වාරයක් තිබුණා. ඒක බලලා ගෙවල්වලට යන්න බස් තිබුණා. ඒ සිනමා ශාලාවට අසවල් චිත්‍රපටය ආවා කියලා වාහනයක බැඳගත්ත මයික්‍රෆෝනයකින් ඒ ගැන ගම පුරා ප්‍රචාරයකුත් කළා. පයින් යන දුරවල ඉන්න අය පවුල් පිටින් පයින් ගිහින් චිත්‍රපට නරඹලා චිත්‍රපටයේ පෙන්වපු දේවල් ගැන කට්ටියත් එක්ක කියව කියවා පයින්ම ගෙවල්වලට ගියා. මේ තත්ත්වය යළි ඇති කරන්න ඕනේ. ඒ සඳහා චිත්‍රපට සංස්ථාව සහ එහි නිලධාරීන් අපේ සිනමාවට ආදරයක් ඇති අය බවට පත් විය යුතුයි. රාජ්‍ය මැදිහත්වීමක් තිබිය යුතුයි. මුදල් උපයන්න කියලා විදේශ රටවලින් බාල සිනමා නිර්මාණ ගෙන්වලාවත්, අපේ දේවල් විකුණල දාලාවත් හරියන්නේ නැහැ. මමත් චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, සාමාන්‍යාධිකාරී තනතුරු දැරූ කෙනෙක් හැටියට මේ තත්ත්වයන් හොඳින් දැක්කා. සිනමාව වෙනුවෙන් යම් සේවාවන් ඉටු කරන්න මට ඒ කාලයේදී හැකියාවක් ලැබුණා. ලෝකයේ මොන සිනමාවක් තිබුණත් සිංහල සිනමාව තියෙන්නේ අපට විතරයි. ඒක අපි රැක ගන්න ඕනෑ. අපේ නිර්මාණකරුවා පුබුදු කරවලා, ඔවුන්ට අත දීලා, කලාවක් විදිහට වගේම කර්මාන්තයක් විදිහටත් සිනමාව ගොඩගන්න වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. සිංහල සිනමාව කඩා වැටිලා නැහැ. අපේ ම සමහරු වාසි බලාගෙන සිදු කරන අත්තනෝමතික ක්‍රියාවන් නිසා සිනමාව රටේ පොදු අවශ්‍යතාවට සරිලන විදිහට දියුණු කිරීමට බාධා වෙලා තියෙනවා.”

නදීකා රංගනයෙන් දායක වූ චන්න පෙරේරාගේ ‘යුගාත්‍රා’ චිත්‍රපටය ද අතිශය සුන්දර වෙනස්ම කතාවක් සහිත සිනමා සිත්තමක් වුවත් එය ප්‍රදර්ශනය වූ කාලය ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ සිනමා රසිකයින්ට එය සිනමා තිරයේ රසවිඳින්නට අවකාශ උදා නොවීම කනගාටුවකි. එහි රස ඒ ලෙසම නොවුණත් ‘යුගාත්‍රා’ චිත්‍රපටය කුමක්දැයි පුංචි තිරයෙන් බොහෝ අයට දැක ගත හැකි විය.

“මම ගොඩාක් කැමැත්තෙන් රඟපෑ චිත්‍රපටයක් තමයි යුගාත්‍රා චිත්‍රපටයේ ඉවෝන්ගේ චරිතය. ඒ චරිතය සඳහා මට ගොඩාක් ප්‍රතිචාරත් ලැබුණා. ඇත්තටම චන්න පෙරේරා තමයි ඒ චරිතය ඒ විදිහට මගෙන් ගත්තේ. එහි තිරපිටපත, අධ්‍යක්ෂණය චන්න පෙරේරාගේමයි. ඔහු ඉතාම දක්ෂ සිනමාකරුවෙක්. වෙනත් මානයකින් සිනමාව දකින හා නිර්මාණ කරන ශිල්පියෙක්. මේ වගේ නිර්මාණ තව තවත් බිහි වෙන්න අවශ්‍යයි.”

නදීකා ඉපදී හැදී වැඩෙන්නේ මහනුවර ප්‍රදේශයේයි. සිය පියාගේ වෘත්තීය මාරුවීම් සමඟ පාසල් කිහිපයකම අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් ද ඉන් අනතුරුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් ද ඉගෙනුම් ලැබුවාය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක වන ඇය චිත්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවක ද ටෙලි නාට්‍ය හතක පමණ ද රංගනයේ නිරත වූ අතර හොඳම නිළිය, සහාය හොඳම නිළිය ආදි වශයෙන් සම්මාන අටක් පමණ දිනා සිටින්නීය. මේ වනවිට සිනමාවෙන් ඇය තරමක් දුරස්ව තෙනුකි සමඟ මවක් ලෙසින් ජීවිතය අත්දකිමින් සිටින්නීය.

“අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගේ. තෙනුකි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම් කටයුතු කළත් එයා සිංහල චිත්‍රපට නැරඹීමට පුදුම කැමැත්තක් දක්වනවා. ඒ නිසා සිනමාවට සම්බන්ධ බොහෝ උත්සවවලට එයත් මා එක්ක සහභාගි වෙනවා. ඒක මට ලොකු සතුටක් ගෙන දෙනවා. සිනමාවටත් වඩා මම අද එයා නිසා මගේ ජීවිතය විඳිනවා. සුරේන් එයාගේ ව්‍යාපාරික කටයුතු නිසා කාර්ය බහුලයි. නමුත් පුළුවන් හැම වෙලාවෙම එයත් අපි එක්ක ඉන්නවා. සුරේන් මට මගේ කලා කටයුතුවලදි ලොකු සහායක් වගේම නිදහසත් ලබා දුන්නා. අදටත් හොඳ නිර්මාණවලට දායක වෙනවා නම් එයා කැමතියි. මම මට මගේ පවුලේ අයත් නිතර මතක් වෙනවා. මගේ මල්ලි හදිසියේ නැති වුණා. ඒක මට දරාගන්න බැහැ. නංගිලා, මල්ලි මම පුංචි කාලේ ඉඳලා ලොකු බැඳීමක් තිබුණා. අදටත් එහෙමයි. මගේ තාත්තා ඉස්සර ඉඳලාම මං ගැන පුවත්පත්වල ගිය ලිපි එකතු කරලා පොතක අලවලා තියාගත්තා. අදටත් ඒවා තියෙනවා. සමහර දේවල් මතක් වෙද්දී ඇස්වලට කඳුළු පිරෙනවා. ඒ හිතට දැනෙන දුක නිසායි. සමහර දේවල් මතක් වෙද්දි ඇස්වලට කඳුළු පිරෙනවා. ඒ සතුට වැඩිකම නිසායි. ජීවිතය මහා පුදුමයි. තනියම ඉන්න වෙලාවට මට එහෙම හිතෙනවා.”

තුෂාරී කළුබෝවිල

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 17 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 315 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 84 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 821 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 172 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 815 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්