” කතාව නොබලා ශෙයාර් වෙන වීඩියෝව දැකපු අය තමයි මේ විදිහට බැණලා කමෙන්ට්ස් දාන්නේ..” සවිනි කියන මේ කතාව ඇහුවද ?

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු සෙනාන් විමලවීරගේ ‘අළුපාට දේදුනු’ ටෙලි නිර්මාණයේ චාතූර්යා ලෙසින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් ඇය හිරු නාළිකාවේ විකාශය වන අරුණ ජයවර්ධනගේ ‘මාස්ටර් සර්‘..

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු සෙනාන් විමලවීරගේ ‘අළුපාට දේදුනු’ ටෙලි නිර්මාණයේ චාතූර්යා ලෙසින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් ඇය හිරු නාළිකාවේ විකාශය වන අරුණ ජයවර්ධනගේ ‘මාස්ටර් සර්‘ ටෙලි නිර්මාණය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිමින් සිටින්නීය. හර්ෂ උඩකන්දගේ ‘ලොක්කී – 2, ටෙලි නිර්මාණයේ තරූ මෙන්ම ධනුෂ්ක රත්නායකගේ ‘හිත ළඟ හිනැහුණා, ටෙලි නිර්මාණයේ උදානා ද ප්‍රේක්ෂක ඔබේ ආදරය ඉහළින්ම දිනාගත් ඇය රංගනයෙන් දායක වුණු භූමිකාවන්ය. මේ දිනවල විවිධාකාරයේ ප්‍රතිචාර ලබමින් මාස්ටර් සර් හි අසිනි ලෙසින් ඔබ හමුවන ඇය සවිනි යකුපිටියයි.

සවිනි කියන්නේ චාතූර්යා, තරූ, උදානි යන රංගන භූමිකාවන් ඔස්සේ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වත් හරි. මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ චරිත ත්‍රිත්වයටම පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ගොඩක් දුරට ඒ චරිත දඟකාර, අහිංසක චරිත වීම ඒකට හේතු වෙන්න ඇති. ඒත් මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන මාස්ටර් සර් ටෙලි නිර්මාණයේ අසිනි නම් ටිකක් බැණුම් අහනවා. ඒකට හේතුව විදිහට මං දකින්නේ මේ දවස්වල සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සංසරණය වන මාස්ටර් සර් ටෙලි නිර්මාණයේ වීඩියෝ ක්ලිප්ස්. අසිනි තමන්ගේ පන්තියේ ගුරුවරයා බදාගෙන අඬන දසුනක් මේ දවස්වල ශෙයාර් වෙනවා. කතාව නොලබපු බොහෝ දෙනා දන්නෙ නෑ ඇයි එහෙම කරන්නෙ කියලා. ඒ නිසා ඔවුන් මට බැණලා ප්‍රතිචාර දක්වනවා. ගුරුවරයෙක් ඔහොම බදාගන්නවද? ඒක නරක වැඩක් නේද, ඔහොමද ළමයි හැසිරෙන්නේ වගේ ඒවා කියලා බණිනවා. ඒත් කතාව බලන අය දන්නවා එහෙම වෙන්නෙ ඇයි කියලා. මේ වගේ විවිධාකාරයේ ප්‍රතිචාර විඳිමින් තමයි මේ දවස්වල ජීවිතේ ගත ගෙවෙන්නේ.

මේ දවස්වල ඔබට හොඳ නරක දෙපැත්තෙම ප්‍රතිචාර ලැබෙන මාස්ටර් සර් ගැන කතා කළොත්?

මාස්ටර් සර් අරුණ ජයවර්ධනගේ ටෙලි නිර්මාණයක්. තිරපිටපත කාවින්ද මලවිආරච්චි. උසස් පෙළ සිංහල උගන්වන මැදි වයසේ ගුරුවරයෙකු හා සම්බන්ධ කතාවක්. ඔහු බොහොම අමාරුවෙන් දුක්විඳලා පටන් ගත්ත ටියුෂන් පන්තිය ටිකෙන් ටික ලොකු තැනකට ගේන්න උත්සාහ කරන්නේ ගුරුවරයා කියන යහපත් හැඟීමෙන් මිසක් බිස්නස් එකක් කියලා හිතාගෙන නෙවෙයි. නමුත් ඔහුගේ බිරිය ඒක බිස්නස් එකක් කරගන්නවා. අසිනි මේ ක්ලාස් එකට එන්නේ දෙවැනි වර විභාගයට මුහුණදීමේ බලාපොරොත්තුවෙන්. ඒ වෙද්දිත් ඇය ෆේස්බුක් එක හරහා හැඳිනගත් වයසින් වැඩි, විවාහ වෙලා දරුවනුත් ඉන්න පුද්ගලයෙකුට ආදරය කරලා කරදරේ වැටිලා ඉන්න ළමයෙක්. සිදුවූ දේවල් දරා ගන්න බැරුව පන්තියේ දී ඇය ගුරුවරයාට ලියුමක් යවන්නේ අද මං පන්තියට එන අවසාන දවස, මං සියදිවි නසා ගන්නවා කියලා. කලබල වෙන ගුරුවරයා එහෙම කරන්න එපා කියලා උපදෙස් දෙන අවස්ථාවේ තමයි ඔය ඇති සර් කියාගෙන ඇවිත් අසිනි සර්ව බදාගන්නේ. ඒ දර්ශනය තමයි මේ දවස්වල ශෙයාර් වෙන්නේ. කතාව බලන අය ඒ සිද්ධිය දන්නවා. කතාව නොබලා ඔය ෂෙයාර් වෙන වීඩියෝව දැකපු අය තමයි මේ විදිහට බැණලා කමෙන්ට්ස් දාන්නේ. මාස්ටර් සර්හි අසිනි හරහා යම් පණිවුඩයක් සමාජගත කරන්නත් උත්සාහ කරනවා.

චාතූර්යා, තරූ, උදානි වගේම අසිනිටත් ලැබෙන ප්‍රතිචාර අනුව පැහැදිලි වන්නේ අසිනිත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් කියලා. ඉදිරියේදී අපට සචිනිව දකින්න ලැබෙන්නේ මොන වගේ නිර්මාණවලින්ද?

ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල ඉඳන් මාස ගණනාවක්ම මං ටෙලි නාට්‍ය භාරගත්තේ නැහැ. ටෙලි නාට්‍ය 18කට විතර ආරාධනා ලැබුණා. ඒත් මට දැනෙන චරිතයක් තිබුණෙ නැහැ. සාමාන්‍යයෙන් මං ටෙලි නාට්‍යයක් භාරගනිද්දි චරිතය ගැනත් අවධානය යොමු කරනවා. චරිත තෝරා ගැනීමක් කරනවා. මාස්ටර් සර් ටෙලි නිර්මාණයට තමයි සම්බන්ධ වුණේ. ඒකට කලින් තවත් ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණත් ඒක තවම විකාශය වුණේ නැහැ. ඊට අමතරව සිනමාවටත් ආරාධනා කිහිපයක්ම ලැබිල තියෙනවා. ඒ එකක් ගැන මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. මං සිනමාවට මුලින්ම සම්බන්ධ වෙන්නේ දමිළ චිත්‍රපටයකින්. ඒත් ඒක තාම රිලීස් වුණේ නැහැ. ඊට අමතරව මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවා.

මේ දවස්වල ඔබට කලා නිර්මාණවලට වගේම ප්‍රේමයටත් ගොඩක් ආරාධනා ලැබෙනවා ඇති?

ආදරය කියන්නේ හැමෝටම අවශ්‍ය, හැමෝටම දැනෙන හැඟීමක්. හැබැයි ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දෙදෙනා අතර තියෙන බැඳීම, තේරුම් ගැනීම අවබෝධය මත තමයි ඒ ආදරේ සුන්දර වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ විදිහටයි මං දකින්නේ. මගේ හැම දේකදිම මගේ ළඟින්ම ඉන්නේ මගේ අම්මා. එදා වගේම අදටත් මගේ හෙවණැල්ල වගේ ඇය මාව ආරක්ෂා කරනවා. දැනට ඒ ආදරය ළඟ මං සතුටින් ජීවිතේ ගත කරනවා කිවුවත් හරි.

නාමලී ගමගේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports