අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී කොන්ඩම් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විශේෂයෙන් ලිහිසි ද්‍රව්‍ය ලෙස භාවිත කරන සිලිකන් ඔයිල් (Silicone oil) සපයා ගැනීම දුෂ්කර වී ඇති අතර, කොන්ඩම් ඉරී යාම වැළැක්වීමට යොදාගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous ammonia) මිල 40% සිට 50% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඉන්දියාව වසරකට කොන්ඩම් කෝටි 400කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 860ක් (රුපියල් කෝටි 8,000කට වැඩි) පමණ වෙනවා.
ලැටෙක්ස් නිෂ්පාදනයට අවශ්‍ය ඇමෝනියා ප්‍රමාණයෙන් 86%ක්ම ගෙන්වනු ලබන්නේ සෞදි අරාබිය, කටාර් සහ ඕමානය යන රටවලින්.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ගැටලුකාරී තත්ත්වය මෙම සැපයුම්වලට සෘජුවම බලපා තිබෙනවා.
ඉන්දීය වෛද්‍ය සංගමයේ (IMA) හිටපු සභාපති රජීව් ජයදේවන් පවසා ඇත්තේ, මැදපෙරදිග ගැටුමේ දාම ප්‍රතිඵලයක් ලෙස උපත් පාලන ක්‍රම නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති අතර, මිල ඉහළ යාම සහ හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකි බවයි.
මෙය වඩාත් දැඩි ලෙස බලපාන්නේ අඩු ආදායම්ලාභී ජනතාවට වන අතර, මිල සුළු වශයෙන් හෝ ඉහළ යාම නිසා ඔවුන් කොන්ඩම් භාවිතයෙන් බැහැර වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මෙහි අතුරු ප්‍රතිඵල ලෙස අනපේක්ෂිත ගැබ් ගැනීම්, මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය ඉහළ යාම මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) නැවත ව්‍යාප්ත වීම සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
_NDTV_






