පිඹුරුකු කරේ දමා නැටු අවුරුදු 18 ක අවුරුදු කුමරිය කතා කරයි…

සාම්ප්‍රදායික නර්තනයකින් ඔබ්බට යමින් ජීවමාන පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නර්තනයේ යෙදුණු නෙත්මි හිරණ්‍යා නම් යුවතිය ගැන පසුගියදා කථාබහක් ඇති විය. වයස අවුරුදු දහඅටක් වන ඇය..

සාම්ප්‍රදායික නර්තනයකින් ඔබ්බට යමින් ජීවමාන පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නර්තනයේ යෙදුණු නෙත්මි හිරණ්‍යා නම් යුවතිය ගැන පසුගියදා කථාබහක් ඇති විය. වයස අවුරුදු දහඅටක් වන ඇය තවමත් උසස් පෙළ හදාරන සිසුවියක් වන අතර, රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් 2026 වර්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තරගයක් නියෝජනය කරමින් මෙම ආන්දෝලනාත්මක ඉදිරිපත් කිරීම සිදු කර තිබුණි.

කෙසේ වෙතත්, වනජීවී ආඥාපනත යටතේ මෙලෙස ආරක්ෂිත වන සතෙකු ළඟ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බැවින් අවසානයේදී ඇයට නීතිය ඉදිරියට යාමට ද සිදුවිය. රුපියල් විසිදහසකට හෝ විසිපන්දහසකට පමණ කුලියට ගත් බව කියන මෙම පිඹුරා සහ ඒ හරහා ඇතිවූ නීතිමය ගැටලු සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විවිධ මතවාද ගොඩනැගී ඇති අතර, අදාළ සිදුවීමේ සත්‍ය පසුබිම පිළිබඳව විමසා බැලීමට ‘සුදා යූටියුබ් නාලිකාව’ ඇය සමඟ සිදුකළ සාකච්ඡාව පහතින් දැක්වේ.

 

ප්‍රශ්නය: නෙත්මි, සාමාන්‍යයෙන් අවුරුදු කුමරියක් වේදිකාව මත සාම්ප්‍රදායික නර්තනයක් ඉදිරිපත් කරනවා වෙනුවට පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නටන්න ඔබට අදහසක් ආවේ කොහොමද?

පිළිතුර: මට ඇත්තටම ඕන වුණේ අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්නයි. තරගයේ කොන්දේසිවලට අනුව වේදිකාවට හානියක් නොවන ඕනෑම ඉදිරිපත් කිරීමක් කරන්න අපිට නිදහස දීලා තිබුණා. මම මුලින්ම හිතාගෙන හිටියේ බෙලි ඩාන්ස් (Belly dance) එකක් කරන්න. අන්තර්ජාලයේ සහ යූටියුබ් එකේ විදේශීය නර්තන ශිල්පිනියන් වගේම ලංකාවේ සමහර සංගීත වීඩියෝ සහ ෆොටෝ ෂූට්වලත් මේ විදිහට පිඹුරන් යොදාගෙන තියෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතුවා මේක තරගයට හොඳ වෙනසක් වෙයි කියලා. මේක නීතිමය ප්‍රශ්නයක් වෙයි කියලා මම ඒ වෙලාවේ කොහෙත්ම හිතුවේ නැහැ.

 

ප්‍රශ්නය: මේ තරම් විශාල පිඹුරෙක්ව ඔබ හොයාගත්තේ කොහෙන්ද? ඒ සඳහා කොපමණ මුදලක් වැය වුණාද?

පිළිතුර: මම මුලින්ම කොළඹ අවටින් හෙව්වා, ඒත් හොයාගන්න ලැබුණේ නැහැ. පස්සේ මගේ යාළුවන් මාර්ගයෙන් තමයි පුත්තලම පැත්තේ නයි නටවන අංකල් කෙනෙක් ගැන දැනගන්න ලැබුණේ. තරගය තිබුණ දවසේ උදේ තමයි ඔහු සතාව අරගෙන ආවේ. ඒ වෙනුවෙන් රුපියල් විසි දහසක් හෝ විසි පන්දාහක් වගේ මුදලක් වැය කරන්න වුණා. මට කලින් සතාව පුරුදු වෙන්න වෙලාවක් තිබුණෙත් නැහැ, එදා උදේ තමයි මම සතාව අල්ලන්න පුරුදු වුණේ.

 

ප්‍රශ්නය: වයස අවුරුදු දහඅටක තරුණියක් විදිහට මෙවැනි සතෙක් ගෙල වටා ඔතාගන්න ඔබට බයක් හිතුණේ නැද්ද? අනතුරක් වෙයි කියලා හිතුණේ නැද්ද?

පිළිතුර: අයිතිකාර අංකල් මට සතාව අල්ලන විදිහ සහ පාලනය කරන විදිහ ගැන හොඳට කියලා දුන්නා. අනික මේ සතා නිර්විෂ සතෙක් වගේම මිනිස්සු ගැවසෙන තැන්වල ඉඳලා හොඳට පුරුදු සතෙක්. හිස සහ වලිගය ප්‍රදේශය නිවැරදිව අල්ලගෙන හිටියම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔහු මට සහතික වුණා. ඒ නිසා මට ලොකු බයක් දැණුනේ නැහැ.

ප්‍රශ්නය: මේ සිදුවීමෙන් පස්සේ ඔබව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියලත්, ඔබ වනජීවී නිලධාරීන් මඟහැරියා කියලත් ප්‍රවෘත්ති පළවුණා. එහි සත්‍යතාවක් තියෙනවාද?

පිළිතුර: නැහැ, මම නීතිය මඟහැරියේ නැහැ. සමහර යූටියුබ් නාලිකා සහ ෆේස්බුක් පිටු තමයි ඔය බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කළේ. වනජීවී කාර්යාලයෙන් මට දැනුම් දීලා තිබුණේ උදේ දහය වෙද්දී ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා. නමුත් ඒ සඳහා භාරකාරයෙක් අනිවාර්ය වුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවන් කරන නිසා ඒ වෙලාවේ යන්න විදිහක් තිබුණේ නැහැ. මම ඒ බව වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුව මම ගිහින් කටඋත්තරය ලබා දුන්නා. ඔවුන් මට කිසිම බලපෑමක් කළේ නැහැ, ගොඩක් සහයෝගයෙන් කටයුතු කළා. ඉන්පසුව තමයි අලුත්කඩේ උසාවියට ගිහින් ඇප මත නිදහස් වුණේ.

 

 

ප්‍රශ්නය: වනජීවී ආඥාපනත යටතේ මේක වරදක් බව ඔබ මීට පෙර දැන සිටියේම නැද්ද? මේ වනවිට සමාජයේ සමහරු අහනවා අර අසනීප වුණු සතෙක්ට බෙහෙත් කරපු තරුණයාට දඩ ගහපු එකේ, ඇයි ඔබට විතරක් ඇප ලැබුණේ කියලා.

පිළිතුර: ඇත්තටම මම මේ නීති ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. පරණ චිත්‍රපටවල, මියුසික් වීඩියෝවල පිඹුරන් යොදාගෙන තියෙන නිසා මම හිතුවේ මේක සාමාන්‍ය දෙයක් කියලා. නමුත් වනජීවී නිලධාරීන් මට පැහැදිලි කළා ආරක්ෂිත සතෙක් ළඟ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බව. අර තරුණයාගේ සිදුවීමයි මගේ සිදුවීමයි දෙකක්. මට තවම නඩුව ඉවර නැහැ, ඉදිරියට නඩු වාර තියෙනවා. ඒ වගේම සතාගේ අයිතිකරුටත් අධිකරණයට එන්න කියලා තියෙනවා. අපි නොදැනුවත්ව හරි කළේ වැරැද්දක්. නීතිය හැමෝටම එකයි, මම ඒ නීතිමය ක්‍රියාවලියට මුහුණ දෙනවා.

ප්‍රශ්නය: සමාජ මාධ්‍ය හරහා ඔබට ආපු හොඳ සහ නරක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ? නිරූපණ ක්ෂේත්‍රයට එන්න ඉන්න අලුත් අයට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

පිළිතුර: තරගය වෙලාවේ නම් මට ප්‍රේක්ෂකාගාරයෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා, හැමෝම කිව්වා ඒක ලස්සනයි කියලා. නමුත් වීඩියෝ එක වයිරල් වුණාට පස්සේ සමාජ මාධ්‍යවල ගොඩක් අය මට බැනලා තිබුණා. සමහරු හිතුවේ මම සතාට හිංසා කළා කියලා. අන්තර්ජාලයේ මිනිස්සු කියන දේවල් සහ කමෙන්ට්ස් දිහා බලලා ඒවා ඔළුවට ගත්තොත් අපිට ඉස්සරහට යන්න අමාරුයි. මේ ක්ෂේත්‍රයට එනවා නම් ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම මොනවා හරි අලුත් දෙයක් කරන්න කලින් ඒකේ නීතිමය පැත්ත ගැන හොයලා බලන්න කියන එක තමයි මට දෙන්න තියෙන ලොකුම පණිවිඩය.

සාකච්ඡාව – Talk with Sudaththa

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports