“මට සිහිය එනකොට සේරම වෙලා ඉවරයි…” අනතුරින් දිවි ගලවාගත් සැමියා කියන හද කම්පා කරවන කතාව.

“එයා හරිම පිනට ලැදි කෙනෙක් නිතරම බැලුවේ කාටහරි උදව් කරන්නේ කොහොමද කියලා. කෙනෙකුට හොඳක් වෙනව නම් මගේ අවයව වුණත් දන් දෙනවා මම, කියලා එයා නිතරම..

එයා හරිම පිනට ලැදි කෙනෙක් නිතරම බැලුවේ කාටහරි උදව් කරන්නේ කොහොමද කියලා. කෙනෙකුට හොඳක් වෙනව නම් මගේ අවයව වුණත් දන් දෙනවා මම, කියලා එයා නිතරම මා එක්ක කිව්වා. ඒ වගේම අද එයාගේ අවයවවලින් කීප දෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒ පිනම ඇති එයාට මේ සසරින් එතෙර වෙන්න”

ත්‍රීරෝද රථය අනතුරට ලක්ව මිය ගිය මධුෂානි පතිරණ (34) ගේ සෙනෙහෙබර සැමියා චතුරංග අල්විස් (33) පැවසුවේ වේදනාව යටපත් කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින්.

බණ්ඩාරගම, මාර්කට් පාරේ, 113 නිවෙසට සති දෙකකට පමණ පෙර මංගල ඇදුමින් සැරසී මධුෂානි පැමිණියේ වසර ගණනාවක් පුරා පැවති පෙම් සබඳතාවය මල්ඵල ගන්වමින් වුවත් එය මෙතරම් ඉක්මනින් කදුළු ගගක් වේවි යැයි කිසිවෙකුත්නොසිතන්නට ඇති.

ඉතා සුරූපී නිහතමානී තැන්පත් තරුණියක් වන මධුෂානි රැකියාව කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ද්‍රව්‍යමය ඉංජිනේරු අංශයේ සහකාර පර්යේෂණ ඉංජිනේරුවරියක ලෙසයි.

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කර තිබෙන්නේ පාසලේ දීප්තිමත් සිසුවියක ලෙස කා අතරත් ජනාදරයට පත් වෙමින්.

අනපේක්ෂිත ලෙස සිදු වූ අනතුරින් තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින චතුරංග අපහසුවෙන් වුවත් පැවසුවේ මෙවැන්නක්.

“මම වැඩ කරන්නෙ කාර්මික ඉංජිනේරුවරයෙක් විදියටයි. මධුෂාණිව මං අඳුර ගත්තෙ ඉංජිනේරු උපාධිය කරන කාලෙදියි. යාලුවෝ කට්ටිය එක්ක අපි ට්‍රිප් ගියා. එතකොට කතා කරල දැන හඳුනගත්තට යාළු වුණේ පස්සේ. අපි අවුරුදු පහක් විතර ළගින් ආශ්‍රය කළා. එයා පුද්ගලික විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධියක් කළේ. එයා ඉගෙන ගන්න හරි දක්ෂයි. දැනටත් කොළඹ IHR එකේ ශ්‍රම කළමනාකරණ විශේෂවේදී උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ. 4 වෙනි අවුරුද්දෙ 2 වෙනි වාරෙ විභාගෙ අප්‍රේල් මාසෙ තියන්න තිබුණේ. කොළඹ කැම්පස් එකේ BIT උපාධිය කරන්න ගිය අවුරුද්දේ පටන් ගත්තේ. ඒකෙත් මේ දෙවැනි අවුරුද්ද.

එයා හුඟක් සමාජශීලී කෙනෙක්. ඉස්කෝලෙ යන කාලේ අවුරුදු ගානක් එයාගෙ බත් එක කෑම නැති ළමයින්ට දීලා තියෙනවා. නොමිලේ ළමයින්ට උගන්නලත් තියෙනවා. ගංවතුර ආධාර බෙදන්නත් තනියම ගියා. සුළි කුණාටුව වෙලාවෙත් ඇඳුම් වගයක් අරගෙන බස් එකේ තනියම ගියා. මතුරට පැත්තෙ ඉගෙන ගන්න ළමයින්ට පොත්පත් එක්ක බෑග් බෙදලා දුන්නා. අපි දෙන්නා හැම සැරේම ලේ දන් දෙන්නත් යනවා.

එයා හැම තිස්සෙම කියන්නේ ලේ ටික විතරක් නෙමෙයි මුළු ශරීරයම වුණත් දන් දෙන්න තියෙනවා නම් ඒකත් කරනවා කියලයි. එයා අක්ෂිදාන සංගමයට ලියවිල්ලකින් අත්සන් කරලා දීල තිබුණා ශරීරය දන් දෙන්න කැමතියි කියලා. ඒ ලියුම මට එයාගේ බෑග් එකක් අස් කරද්දි හම්බ වුණා.”

ඔහු දිග සුසුමක් පිට කර ලය සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළා.

“මධුෂානිගෙ ගම බද්දේගම. එයා පවුලේ එකම දරුවා. එයාගේ තාත්තට අසනීප වෙලා බේත් අරන් දෙන්න තමයි පහුගිය 21 දා අපි දෙන්න බද්දේගම ගියේ. පහුවදා ඉරිදා දවසක්. අපි දෙන්නටම නිවාඩු දවසෙ කරගන්න වැඩ ගොඩක් තිබුණා. ඒ හින්දා අපි තාත්තට බෙහෙත් අරන් දීල එදාම රෑ ආපහු ගෙදර එන්න ආවා ත්‍රීවිල් එකෙන්. ගාලු පාරේ පයාගල හරියට ආවා කියලා මට මතකයි. මට මහන්සියට නින්ද ගිහින් ත්‍රීවිල් එක ලයිට් කණුවක වැදිල තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. එතකොට රෑ 12. 15 ට විතර ඇති. මට සිහිය එන කොට සේරම වෙලා ඉවරයි. මධුෂානි ගේ ඔලුව තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ.

අපි දෙන්නවම නාගොඩ ඉස්පිරිතාලෙට අරගෙන ගහින්. එයාව කොළඹ යවලා ආපහු නාගොඩටම ගෙනත් තිබුණා. 24 ද තමයි මධුෂානි අපිව දාලා යන්නම යන්න ගියේ. එයාගේ ඉල්ලීම විදියට අවයව පරිත්‍යාග කරන්න අපි එකග වුණා. එයාගෙ ජීවිතෙන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කීප දෙනෙක්ම ජීවත් වෙයි. ඒ පිනෙන් මේ වගේ අකල් මරණයක් එයාට නැවතත් අත් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එයා ඒ ගැන කොහේ හරි ඉදලා සතුටු වෙයි. ඒක මට ලොකු සැනසීමක්.”

ඔහු හැගුම් බරව පවසා සිටියේ ඇගේ නික්ම යාම විදදරා ගැනීමට ඇති අපහසුව යටපත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports